Skip links

( මාධ්‍ය නිවේදනය) : සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශය ‘අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජනයක්’

2025-12-03 | මාධ්ය නිවේදනයයි.

සමාජ මාධ්‍ය හෝ වෙනත් කුමන මාධ්‍යයක් ඔස්සේ ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක ප්‍රකාශ පළ කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව ආපදා තත්වය හේතුවෙන් රජය පනවා ඇති හදිසි නීතිය උපයෝගී කොට ගෙන දැඩි දඬුවම් පැමිණවිය යුතු බවට මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් සිදුකොට ඇති ප්‍රකාශය පිළිබඳව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ බලවත් විරෝධය පළකරන්නෙමු.


2025-12-02 දින මාළඹේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඇතුලු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න ද සහභාගී වූ සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකොට ඇත.

වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු අවධාරණය කොට ඇත්තේ ආපදා තත්වය මුල් කරගෙන භෞතිකව, සමාජ මාධ්‍ය හෝ AI තාක්ෂණය භාවිතා කොට තොරතුරු විකෘති කරමින් මාධ්‍ය තුළ පළ කරන ව්‍යාපාරයක් පවතින බවත්, මෙම තත්වය විදේශගත පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් දියත් කොට ඇති බවත්ය.

ඒ අනුව මේ තත්වයන්ට වගකිවයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගතයුත්තේ ආපදාව දඩමීමා කොට ගෙන ගැසට් කළ හදිසි නීති රෙගුලාසි යටතේ සැකකරුවෙකු ලෙස නොව චූදිතයෙකු ලෙසින් බවට පොලිස් නිලධාරීන් වෙත නියෝජ්‍ය අමාත්‍යවරයා නියෝග කොට ඇත.


බලයට පැමිණීමට පෙර භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් විසින්ම වර්තමානයේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහෝසි කිරීමට නියෝග පැනවීම, මගින් පිළිබිඹු වන්නේ වර්තමාන ආණ්ඩුව අවතීර්ණ වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි මාර්ගයක් වෙත බවයි.

පසුගිය වසරක පාලන කාලය තුළ මෙයට පෙරද ආණ්ඩුව විසින් මාධ්‍ය නිදහසට තර්ජනය කිරීමේ අවස්ථා ගණනාවක්ම අපගේ නිරීක්ෂණයට ලක් වී ඇති පසුබිමක, නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකිරීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

​​​​​
දුමින්ද සම්පත්​​​​
සභාපති
රංග බණ්ඩාරනායක
​​​​​ලේකම්

Leave a comment

This website uses cookies to improve your web experience.